e-ඇසකින් පරිසරය දකිමු.

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com


"ශ්‍රේෂ්ඨ රජතුමනි, අහසෙහි පියා සරන සියොතුන්ටත් පොළොවෙහි සිවුපාවුන්ටත් ඔබට මෙන් ම මේ පොළව මත ජීවත් වීමට ත් ඕනෑම දෙසක සැරිසරන්නටත් සමාන අයිතියක් ඇත. මේ පොළොව එහි වෙසෙන සියලු මිනිසුන්ටත් අනෙක් සියලුම ජීවීන් හටත් අයිතිය. ඔබ එහි භාරකාරයා පමණි." මේ මිහිඳු මහ රහතන් විසින් දේවානම්පියතිස්ස රජුට දේශනා කරනු ලැබූ වදන් පෙළකි.

මෙලෙස බුදු දහම මත පදනම්ව ගොඩනැගුණු ලාංකික ශිෂ්ටාචාරය අතීතයේදී සැබැවින්ම පරිසර හිතකාමී වූවක් විය. වැව,දාගැබ,පන්සල කේන්ද්‍ර කර ගත් ජීවන රටාව පරිසරය සමතුලිතතාවය හා හොඳින් ගැලපුනි. නමුත් කාර්මිකකරණය පදනම් කර ගත් වර්තමාන ලාංකික සමාජ රටාව පරිසරයේ සමතුලිත පැවැත්මට තවදුරටත් හිතකාමී වූවක් නොවේ. මේ වන විට සංවර්ධනය සඳහා ගෙන යනු ලබන නොයෙකුත් ක්‍රියාකාරකම් පරිසරයේ යහ පැවැත්මට අනේක විධ තර්ජන එල්ල කර ඇත. එය පෙරලා සංවර්ධනය ක්‍රියාදාමයටම අභියෝගයක් වී ඇත. මේ නිසා සංවර්ධන ඉලක්කයන් සපුරා ගන්නා අතරම පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අද ඉස්මතු වෙමින් පවතී. මෙලෙස පරිසරයේ සමතුලිතතාවය රැකීමට හා එය කළමනාකරණයට ඔබින එක් මෙවලමක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අද අවධානය යොමු වී ඇත. මෙම තාක්ෂණය පරිසරය සංහාරය කිරීම වෙනුවට එය සුරැකීමට දායක වන මාධ්‍යයක් ලෙස අද බොහෝ පරිසර හිතකාමීන්ගේ අවධානයට යොමු වෙමින් පවති.

මේ අනුව අද ලංකාවේ ද පාරිසරික කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණික මෙවලම් සිය කටයුතු සඳහා යොදා ගැනීමට යොමු වී තිබේ. පරිසරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා මෙම මෙවලම් යොදා ගන්නා ආකරය ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. මෙයින් එක් පාර්ශවයක් ඵලදායි පාරිසරික කළමනාකරණයක් සඳහා තොරතුරු ජාල සහ දත්ත සමුදායක් ගොඩ නැගීමට කැප වෙයි. තවත් කොටසක් ශක්තිමත් පාරිසරික දැනුමක් ගොඩ නැගීමටත් පරිසරය සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීමටත් අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල වැනි තාක්ෂණයන් යොදා ගනිමින් සිටී. මෙහිදී පරිසරයේ සමබර පැවැත්මට මෙලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණික උපාංගයන් යොදා ගත් කැපී පෙනෙන අවස්ථා හා ආයතන කිහිපයක් වෙත අපගේ අවධානය යොමු කරමු.

භූගෝලීය තොරතුරු ක්‍රමයෙන් මැවෙන පාරිසරික තොරතුරු

ලංකාව සම්බන්ධ වැදගත් පාරිසරික තොරතුරු රාශියක්ම විධිමත්ව එක් රැස් කිරීම පහසු කළ මෙවලමක් ලෙස භූගෝලීය තොරතුරු ක්‍රමය [Geographical Information System(GIS)] හඳුන්වන්න පුළුවන්. දැනට ලංකාවේ මෙම තාක්ෂණය භාවිතා කරන පරිසරයට සම්බන්ධ ආයතන අතුරින් ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව ප්‍රමුඛ වූවකි. මෙහි මෙම තාක්ෂණය භාවිතයට පැමිණියේ 1990 වර්ෂය තුළයි. ආරම්භයේදී මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් අපේක්ෂා කළේ ලංකාවේ ස්වභාවික හා රෝපණය කරන ලද වනාන්තර පිළිබඳ සිතියම් කොට ඒවා වනාන්තර පිළිබඳ ජාතික භූගෝලීය තොරතුරු ක්‍රමයක් සඳහා පදනම් කර ගැනීමයි. මේ අනුව වන සංරක්ෂණයට අවශ්‍ය තොරතුරු රාශියක්ම මෙම ක්‍රමය හරහා එක් රැස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. වනාන්තරවල ආරක්ෂිත සීමාවන්,වර්ෂාපතනය,උෂ්ණත්වය,වන ආරක්ෂිතයන් වැනි අංශ පිළිබඳ තොරතුරු රැසක් මෙමගින් රැස් කොට ඇත.

භූගෝලීය තොරතුරු ක්‍රමය මගින් නිම වෙන සිතියම් සඳහා අවශ්‍ය ප්‍රධාන තොරතුරු සපයනු ලබන්නේ චන්ද්‍රිකා ජායාරූප හරහා යි. මේවා Lansat Thematic mapper Satellite Imagesලෙස හඳුන්වයි. මෙසේ ලබා ගන්නා ජායාරූප වනාන්තර පිළිබඳ ඩිජිටල් සිතියම් ලෙස පරිගණකයට ඇතුළත් කිරීම සිදුවන්නේ ERDAS යන රූප සකසන [Image Proccesing] මෘදුකාංගය හරහායි. මෙලෙස ගොඩ නැගෙන ඩිජිටල් සිතියම් හරහා වනාන්තර සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් ම පහසුවෙන් අනාවරණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. මේ අනුව 1992 සිට 1998 දක්වා ගත් Lansat TM යන ජායාරූප හරහා හබරණ ප්‍රදේශයේ තෝරා ගත් ප්‍රදේශයක් තුළ වන විනාශය කොපමණ මට්ටමින් සිදු වී තිබේ දැයි සොයා ගැනීමට හැකි වී තිබේ. මෙය Lansat TM තාක්ෂණය සහ භූගෝලීය තොරතුරු ක්‍රමය ඒකාබද්ධතාවයෙන් භාවිතා කිරීමෙන් වන විනාශය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කළ එක් අවස්ථාවකි.

මීට අමතරව භූගෝලීය තොරතුරු ක්‍රමය භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති කිහිපයක්ම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ ක්‍රියාත්මක වේ. නකල්ස් කඳු වැටියේ නිවර්තන වනාන්තර සංරක්ෂණය,සැලසුම්කරණය සහ කළමනාකරණය සහ ගෘහ උද්‍යාන ප්‍රදේශ ප්‍රමාණය ඇසිතමේන්තු කිරීම සඳහා Lansat TM දත්ත භාවිතය මේ අතර කිහිපයක් පමණි.

භූගෝලීය තොරතුරු ක්‍රමය භාවිතයට ගන්නා තවත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමෙන්තුවයි. මෙම තාක්ෂණය මෙම ආයතනය තුළ භාවිතයට පැමිණියේ 1999 වසරේ සිටයි. භූගෝලීය තොරතුරු ක්‍රමයෙන් ගොඩ නගා ඇති මෙහි දත්ත සමුදායට ඇතුළත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සිතියම් ප්‍රධාන පත්‍රිකා [Sheets] 92 කට වෙන් කර ඇත. එමෙන්ම මෙම එක් එක් කොටසක් තුළ ප්‍රවාහන ස්ථාන,ජල මාර්ග,ගොඩනැගිලි සහ පරිපාලන යන ස්ථර[Layers] පහ ඇතුළත්ව ඇත. මේ හැරුණු විට "ඉඩම් භාවිතය" යන නව ස්ථරයක් සඳහා අවශ්‍ය තොරතුරු ද මෙහි දී තවම එක් රැස් කරමින් පවතී. පරිසරයේ සමතුලිතතාවය රැකෙන අයුරින් එය කළමනාකරණයට අවශ්‍ය තොරතුරු මෙම ස්ථර තුළ ඇතුළත් වී තිබේ. ඉඩම් භාවිතය, භූමි රටාවන්[Terrain Patterns] පිළිබඳ ඇති දත්තයන් කෘෂිකාර්මික දෙපාර්තමෙන්තුවේ කටයුතුවලදී ඉහළ පාංශු ඛාදනයක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීමට ඉවහල් වීම මෙවන් අවස්ථාවකි.

මේ හැරුණු විට මෙම දත්ත සමුදායේ තොරතුරු භාවිතයට ගන්නා ලංකා විදුලි බල මණ්ඩලය,නාගරික සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනවලට සිය සංවර්ධන කටයුතු පරිසරයට හිතකාමී අයුරින් කිරීමට  එම දත්තයන් මගින් හොඳ පිටිවහලක් ලැබිය හැකි වීම ද මෙහි ඇති තවත් වැදගත් කමකි.

පාරිසරික තොරතුරු හසුරුවන පරිගණකය

පරිසරය යනු විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙන පද්ධතියක්. මේ නිසා පරිසරය සංරක්ෂණයට හා කළමනාකරණයට යාමට පෙර ඊට අදාළ තොරතුරු හොඳින් දැන ගන්න, ඒවා ක්‍රමවත්ව හැසිරවීම අවශ්‍යයි. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ප්‍රබලම මෙවලමක් වන පරිගණකයෙන් ලැබෙන්නේ අනගි පිටිවහලකි. මේ නිසා පරිසරය සම්බන්ධව කටයුතු කරන සංවිධාන බොහොමයක්ම තමන්ට ලැබෙන විශාල තොරතුරු ප්‍රමාණය විධිමත්ව හැසිරීමට පරිගණකය භාවිත කීරීම දැන් බොහෝ දුරට සිදුවන්නක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් FORDATA නමින් සුවිශේෂ දත්ත සමුදායක් පවත්වාගෙන යාම මෙවැන්නකට එක් නිදසුනක්. මේ හරහා සිදු වන්නේ වන වගාවන් කළමනාකරණයට අවශ්‍ය කටයුතු කිරීමට මෙම දත්ත සමුදාය යොදා ගැනීමයි.

පරිගණකයෙන් සිදුකෙරෙන මෙම දත්ත සංවිධානය වඩාත් ප්රයෝජනවත් වන්නේ පරිසරය පිළිබඳ පර්යේෂණයන්වලදීජාත්යන්තර ජල කළමනාකරණ ආයතන[International Water Management Institute] මෙලෙස සිය පර්යේෂණ තොරතුරු විධිමත්ව සංවිධානය කිරීමට පරිගණකය භාවිතා කරන එක් ආයතනයකිවිවිධ ජලාශ හා ජල මාර්ග පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීම මෙම ආයතනයේ ප්රධාන කටයුත්තකිවලවේ ගඟේ ජලය මුහුදට යාමට පෙර එම ජලය ගොවිතැන් කටයුතු සඳහා ප්රයෝජනයට ගැනීම පිඅළිබඳව කරන මෙවන් එක් මෑත කාලීන පර්යේෂණයකිමෙම පර්යේෂණ තොරතුරු JAVA,RDMS,Oracle වැනි තාක්ෂණයන් හරහා සංවිධානය වීම  මෙම ආයතනයේ දී සිදු වේමෙසේ දත්ත සමුදායක් ලෙස සංවිධානය වන තොරතුරු සිය වෙබ් අඩවිය හරහා මෙමගින් ප්රකාශයට  පත් කරයිමේ නිසා මෙම පර්යේෂණ තොරතුරු පිළබඳ උනන්දුව දක්වන්නෙකුට සිය පාරිසරික දැනුම පුළුල් කර ගැනීමට අනගි පිටිවහලක් මෙයින් ලැබේමෙහි දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ පරිසරය පිළිබඳ තොරතුරු පැහැදිලිව සන්නිවේදනය කිරීමට ඒවා හොඳින් සංවිධානය කිරීමට පරිගණකයෙන් ලැබෙන පිටිවහල පිළිබඳවයි.

පරිසරය ගැන දැනුම බෙදන අන්තර්ජාලය

පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමට සමාජයේ විවිධ කොටස් යොමු කිරීමට ඔවුන් අතර හොඳ දැනුමක් ඒ පිළිබඳ ගොඩ නැගිය යුතු වේ. මේ  සඳහා විවිධ පරිසර ක්‍රියාකාරිකයින් හා සංවිධාන භාවිතා කරන එක් තොරතුරු සන්නිවේදන තාක්ෂණික මෙවලමක් ලෙස අන්තර්ජාලය හඳුන්වන්න පුළුවන්. මේ අනුව ලංකාවේ මේ වන විට විවිධ පාරිසරික තොරතුරු ඇතුළත් වෙබ් අඩවි කිහිපයක්ම බිහි වී තිබේ. මෙහි දී අපි මෙයින් කැපී පෙනෙන කිහිපයකට පමණක් අවධානය යොමු කරමු.

ලංකාවේ පාරිසරික සම්බන්ධයෙන්  ඇති තොරතුරු අන්තර්ජාලයට ප්‍රථමයෙන්ම ප්‍රවේශ වුණේ මුල්ම සිංහල අන්තර්ජාල වාරික ප්‍රකාශනය ලෙස් සැලකිය හැකි මානව සඟරාව තුළින්. මෙය සිදු වූයේ ලංකාවේ වාණිජ මට්ටමින් අන්තර්ජාලය හඳුන්වා දුන් මුල් යුගයේ දීම (1996) වීම විශේෂත්වයකි. ජෛව විද්‍යාත්මක සොබා සම්පත් හා පාරිසරික ප්‍රශ්න නිවැරදි තොරතුරු මානව සඟරාව තුළින් ලබා ගත හැක.

පරිසරය සම්බන්ධ තවත් වැදගත් වෙබ් අඩවියක් පවත්වා ගෙන යන සංවිධානයක් ලෙස Green Lanka Nature Conservation Association දැක්විය හැක. මෙම අඩවිය තුළ පාරිසරික අධ්‍යාපනය, නැවත වනාන්තර බිහි කිරීමේ ක්‍රියාකාරකම්, සමාජ සංවර්ධනය වැනි සිය සංවිධානයේ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ තොරතුරු දක්වයි. 
Mr. Piyal Parakrama
 





ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණයන්හී නියැලෙන පෞද්ගලික සංවිධානයක් වන ශ්‍රී ලංකා වන ජීවී උරුම භාරය ද[Wild life Heritage Trust of Sri Lanka] විසින්ද පාරිසරික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් පවත්වා ගෙන යනු ලබයි. ලංකාවේ උරගයන්,මිරිදිය කකුළුවන්,ක්ෂීරපායින්,මත්ස්‍යයන්,උභය ජීවීන් පිළිබඳ දශකයකට වැඩි කාලයක් මෙම ආයතනය මගින් කර ඇති පර්යේෂණ පිළිබඳ අගනා තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. එමෙන්ම මෙවැනි පර්යේෂණවල ප්‍රතිඵල අඩංගු ග්‍රන්ථ පිළිබඳ තොරතුරු ද මේවායෙන් ලබා ගත හැක. ඊට අමතරව මෑතකදී ආරම්භ කළ කාළගුණ විපර්යාස හා අනුවර්තනයන්[Climate change & adaptation] පිළිබඳව ජනතාව දැනුවත් කරන UN වෙබ් අඩවියෙන් ද ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙක් රටවල ද වත්මන් පාරිසරික තත්ව පිළිබඳ දැනුවත් විය හැක.


පාරිසරික ක්‍රියාකාරකම්වල දී විධිමත් තොරතුරු සන්නිවේදනයක් පවත්වා ගැනීම ද ඉතා වැදගත් කරුණකි. මේ සඳහා දුරකථන,ෆැක්ස් වැනි තාක්ෂණික මෙවලම් මෙන්ම විද්‍යුත් තැපෑල වැනි තොරතුරු තාක්ෂණික මාධ්‍යයන් ද හොඳ පිටිවහලක් මේ වන විට සපයා ඇත. මීට ඇති අගනා ලාංකීය නිදසුනක් නම් පාරිසරික පදනම [The Environmental Foundation] නැමැති සංවිධානයයි. මෙම සංවිධානය විසින් ලංකාවේ පරිසරය සුරැකීම සඳහා ගෙන ගිය සටන්වල දී අවශ්‍ය තොරතුරු සන්නිවේදනය සඳහා විද්‍යුත් තැපෑල භාවිතා කිරීමට යොමු වුණේ එම තාක්ෂණය ලංකාවේ හරි හැටි ප්‍රචලිත වීමටත් පේරය. ලංකාවේ පරිසරයට අහිතකර වූ ක්‍රියාකාරකම්  රැසක දී මෙම සංවිධානය විසින් පැන වූ නඩු කටයුතු සඳහා වෙනත් රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් භාවිතා කළ ප්‍රධාන සන්නිවේදන මෙවලම වූයේ විද්‍යුත් තැපෑලයි. 1992 සිට මෙම සංවිධානය මගින් පරිසර දූෂණයන් සම්බන්ධව පැන වූ නඩුවලින් 80%ක් සඳහාම වෙනත් රටවල් හා සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කොට ඇත්තේ විද්‍යුත් තැපෑලයි.